නිවාස ව්‍යාපෘතිවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන

පසුගිය සමයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් අද සිට දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන - නිවාස ආමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ

by Staff writer 31-10-2025 | 11:21 AM

COLOMBO(News1st) - පසුගිය කාලයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් අද සිට දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන ආරම්භ කරන බව නිවාස හා ඉදිකිරීම් ආමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අද දිනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති ආශ්‍රිව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන බවයි.

එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක නිවාස ආධාර මුදලක් ගෙවිය යුතු වුවත් ඇතැම් පුද්ගලයින්ට එම ණය මුදල් නිසි ලෙස ලබා දී නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම නිවාස ආධාර ලබාදීමේදී නුසුදුස්සන් අතට එම ආධාර මුදල් පත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වේ.

මේ සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ එවක වගකීම් ඉසිලූ නිලධාරීන්ගෙන්ද කරුණු විමසීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ඇතැම් නිවාස ව්‍යාපෘති ඉදිකළ ප්‍රදේශ සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බවයි.

මෙම නිවාස ආධාර යෝජනා ක්‍රම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සැබෑ ලෙසම ආසාධාරණයට ලක්වූ පිරිස් සඳහා සහන සැලසීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවේය.