මුහුදු යාමෙන් වලකින්නැයි ධීවරයින්ට දැනුම් දීමක්

බෙංගාල බොක්ක තවදුරටත් අවදානම්.. මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට අවවාදාත්මක නිවේදනයක්!

by Staff writer 25-10-2025 | 3:41 PM

COLOMBO (News1st) - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රාවලට සහ දිවයිනේ නැගෙනහිර නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, උතුරු අක්ෂාංශ 05ත් 15ක් සහ නැගෙනහිර දේශාංශ 80-95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.

මේ වන විටත් එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ නැවත දැනුම්දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ,එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.