ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අද තරග බිමට..

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අද තරග බිමට..

by Staff writer 22-10-2025 | 9:13 AM

COLOMBO(News1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ  ඕස්ට්‍රේලියා සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද(22) පැවැත්වේ.

කණ්ඩායම් දෙකම මේ වන විටත් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගෙන අවසන්.

ඉන්දියාවේ ඉන්දෝර්හිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පකිස්ථාන කාන්තා කණ්ඩායම සමග පැවති තරගය දකුණු අප්‍රිකාව ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 150කින් ජය ගත්හ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ක්‍රියාත්මක වුණේ එක් ඉනිමක් පන්දුවාර 40කට සීමා කරමිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 40 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 312කි.

පකිස්ථාන පිළිතුරු ඉනිමට අවස්ථා 3කදී වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ අනුව පකිස්ථාන කණ්ඩායමට ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 20ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 234කි.

එම ඉලක්කය හඹා ගිය පකිස්ථාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 83ක් පමණයි.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.