ඉන්දියාව 9වැනි වරටත් ආසියානු ශූරයින් වෙයි

පාකිස්ථානය පරාජය කරමින් ඉන්දියාව 9වැනි වරටත් ආසියානු ශූරයින් වෙයි

by Staff writer 29-09-2025 | 7:44 AM

COLOMBO (News1st) -ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ශූරයින් ලෙස කිරුළු පැළඳුවේ ය.

ඒ, පකිස්ථානය සමග පැවති අවසන් තරගය කඩුලු 5කින් ජය ගනිමින් ය.

ඉන්දීය කණ්ඩායම ජය ගත් 9වැනි ආසියානු කුසලානය මෙයයි.

ආරම්භයට පෙර සිට ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් මෙම තරගයට හිමිව තිබුණි.

තරගය පැවති ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එකවර ප්‍රේක්ෂකයන් විසිපන්දහසකට ආසන්න පිරිසකට තරග නැරඹිය හැකියි.

එහි කාසිය වාසිය දිනු ඉන්දීය නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

මෙම තරගයේදීද ඉන්දීය සහ පකිස්ථාන කණ්ඩායම් දෙකේ නායකයින්  කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව අතට අත දීමක් සිදු වූයේ නැහැ.

පකිස්ථාන ඉනිම ආරම්භ කළේ ශයිබ්සාඩා ෆර්හාන් සහ ෆකර් සමාන්.

ඔවුන් දෙදෙනා විශිෂ්ඨ ආරම්භක සබදතාවක් ගොඩනැගුවේ ය.

ඒ පළමු කඩුල්ලට පන්දු 58කින් ලකුණු 84ක සබඳතාවයක් එක්කරමින් ය.

ශයිබ්සාඩා ෆර්හාන් පන්දු 38කින් ලකුණු 57ක් රැස් කළේ ය.

එම ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් ය.

ෆකර් සමාන් සහ සයිම් අයුබ් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 29කි.

ෆකර් සමාන් පන්දු 35කින් ලකුණු 46කි.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පකිස්ථාන ඉනිමේ වේගය අඩාල විය.

ලකුණු 33කදී පකිස්ථාන අවසන් කඩුලු 8 බිද වැටුණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු කුල්දීප් යාදෙව් කඩුලු 4ක් දවා ගත්තේ ය

ජස්ප්‍රිත් බුම්රා , වරුන් චක්‍රවර්ත්‍රි සහ අක්සාර් පටෙල් කඩුලු 2බැගින් බිද හෙළුවේ ය.

පකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 146ක් පමණයි.

ඉන්දීය පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 20කදී බිද වැටුණි.

සිව්වැනි කඩුල්ලට පිටියේ එක්වූ සංජු සැම්සන් සහ තිලක් වර්මා ලකුණු 57ක සබඳතාවයක් එක්කරමින් ඉන්දීය ඉනිම ගොඩනැගුවේ ය

සංජු සැම්සන් ලකුණු 24කි.

ශිවම් ඩුබේ ලකුණු 33ක් රැස් කළේ ය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා නොදැවී ලකුණු 69කි

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු 4ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම 9 වැනි වරටත් ආසියානු ක්‍රිකට් පිටියේ ශූරයින් ලෙස කිරුළු පැළඳුවේ ය. 

කෙසේ නමුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහභාපති ලෙස කටයුතු කරන මොහ්සින් නක්විගෙ අතින් කුසලානය ලබා ගැනීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.