එක්ස්ප්‍රර්ස් පර්ල් නඩුව ගැන දැනුම්දීමක්

විත්තිකාර විදෙස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, එක්ස්ප්‍රර්ස් පර්ල් නඩුවෙන් ඉවතට

by Staff writer 25-09-2025 | 6:28 PM

COLOMBO(News1st) - එක්ස්ප්‍රස්පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අදාළ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි පියවර සම්බන්ධයෙන් ලබන 26 වැනිදා කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය, අද නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය.

ඒ, වන්දි ගෙවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා සමාගම ඉදිරිපත් කළ මෝසමකට අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය.

ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ විදේශීය සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, නඩුවෙන් ඉවත් වන බව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේ, නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස නෞකාවේ විදේශීය සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා නියෝග කළ බවයි.

ඉන්, අමෙරිකානු ඩොලර් මිලියන 250 ක්, සැප්තැම්බර් මස 23 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවට නියෝග කර තිබුණත්, මෙතෙක් එම මුදල් ගෙවා නොමැති බව, නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

පෙත්සම, ලබන 26 වැනිදා යළි කැඳවීමට නියමිතයි.