ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට

බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව, ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

by Staff writer 25-09-2025 | 8:50 AM

COLOMBO (News 1st) - සුපිරි සිව් දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

තරගයේ කාසිය වාසිය හිමි කරගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව, ඉන්දීය ඉනිම ආරම්භ කළේ , ශුබ්මන් ගිල් සමගින් අභිෂේක් ශර්මා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 77ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

ශුබ්මන් ගිල් ලකුණු 29කට දැවී ගියේ රිෂාඩ් හුසේන්ගේ පන්දුවක් හමුවේයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අභිෂේක් ශර්මා ලකුණු 75ක් රැස් කළේ 4පහර 6ක් සහ 6 පහර 5ක් සමගින්.

ශිවම් ඩුබේ ලකුණු 2යි.

නායක සූර්යකුමාර් යාදෙව් ලකුණු 5කට දැවී ගියේ ය.

හර්දික් පාන්ඩ්‍යා ලකුණු 38යි.

පන්දු යැවීමේදී රිශාඩ් හුසේන් කඩුලු 2ක් දවා ගත්තේ ය.

ඒ අනුව, තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 168කි.

බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළේ සායිෆ් හසන් සමගින් ටන්සිඩ් හසන්.

ටන්සිඩ් හසන් එක් ලකුණකට දැවී ගියේ ය.

පර්වේස් හුසේන් ලකුණු 21යි.

බංග්ලාදේශ ක්‍රීඩකයින් 9 දෙනෙකුටම ලකුණු 7 සීමාව පසු කිරීම ඉන්දීය පන්දු යවන්නන් ඉඩ නොදුන්නේ ය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ සායිෆ් හසන් ලකුණු 69ක් රැස් කිරීමට සමත් විය.

ඊට 4පහර 3ක් සහ 6පහර 5ක් ඇතුළත්.

පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් කඩුලු 2ක් දවා ගත්තේ ය.

ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

එම ජයග්‍රහණයත් සමග සුපිරි සිව් දෙනාග් වටයේ සහභාගී වූ තරග 2ම ජයගත් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ අනුව ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ  බලාපොරොත්තු ගිලිහී ගියේය.

මේ අතර 2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්ථාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (25) පැවැත්වේ.

ඩුබායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග  TV1 නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.