දිවයිනේ විවිධ ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි වැසි

අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 20-09-2025 | 10:11 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 - 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

මේ අතර හලාවත සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 55 දක්වා ඉහළ යා හැකිය.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.

මේ අතර වර්ෂාවත් සමග කොළඹ, කළුතර, කෑගල්ල, නුවර එළිය හා රත්නපුර වන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සදහා පැනවූ නාය යෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇගවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.