BIRDS-X DRAGONFLY අද (19) කක්ෂගතවීමට නියමිතයි

BIRDS-X DRAGONFLY අද (19) කක්ෂගතවීමට නියමිතයි

by Staff writer 19-09-2025 | 9:30 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව BIRDS-X DRAGONFLY අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂගතවීමට නියමිතයි.


ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගතවීමට නියමිතයි.

BIRDS-X DRAGONFLY බර්ඩ් එක්ස් ඩ්‍රැලන්ප්ලයී ලෙස නම්කර ඇති එම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ  එස්. පී. එක්ස් 33  රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගියේ ය.

එය අද (19) මෙරට වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හරිනු ඇත.

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය  ඇතුළු ආයතන කිහිපයක සහයෝගීතාව ඇතිව ආතර් සී ක්ලාක් ආයතනය සහ ජපානයේ  කියුෂු තාක්ෂණ ආයතනය මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිත බව
ආතර් සී ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා පැවසුවේ ය.