.webp)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළේ ජනාධිපති අරමුදලෙන් මධ්‍යම පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි අද (14) පැවති වැඩසටහනට එක් වෙමිනි.
මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 361 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්රදානය කෙරුණු අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1 කි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ ජනාධිපති අරමුදල ස්ථාපිත කළ සත්‍ය අරමුණ ක්‍රියාත්මක වන්නේ වත්මන් ආණ්ඩුව යටතේ බවත්, ඈත ගමේ සිටින පුරුවැසියා වෙතටම ගොස් පහසුකම් සැපයීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් සිටින බවත්ය.
වෛද්‍යාධාරවලට එහා ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කර ඇති බවත් දරුවන්ගේ අධ්‍යාපනයටද ආධාර දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් දැනුමෙන් පිරි යහපත් අනාගත මානව සම්පතක් නිර්මාණය කිරිමට දායක වන බවත් කියා සිටියාය.
එක් රාමුවක් යටතේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනුවට විවිධ ක්ෂේත්‍ර දකින, විවෘත මනසක් ඇති මානව සම්පතක් බිහි කිරීම වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සූදානම් බවත්, එමඟින් දරුවන්ගේ සිහින යථාර්තයක් කිරිමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම උත්සව සභාව ඇමතු කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ මානව සම්පත දියුණු කිරීම තරම් ලෝකයේ ජයග්‍රහණය කළ හැකි අන් කිසිවක් නොවන බවයි.
රටේ තරුණ පරපුර නිවැරදිව සහ ඵලදායීව යොදවමින් ඔවුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කර දීම රජයක වගකීම බවත් අද ජනාධිපති අරමුදල එම කාර්යය සඳහා දායක වී සිටින බවත් පෙන්වා දුන් කථානායකවරයා මානව සම්පත දියුණු කිරීමෙන් රට ලබන ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකි බවද අවධාරණය කළේය.
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද උත්සව සභාව ඇමතීය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් එම්.ඒ. ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර, ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව මධ්‍යම පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (13) පැවැත්විණි.
මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරීන් දැනුවත් කිරීම එහිදී සිදු කෙරුණු අතර මධ්‍යම පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම සහ වඩාත් කඩිනම් සේවා සැපයීම පිණිස අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.