බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට වසර 27ක සිර දඬුවම්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිර දඩුවම්

by Staff writer 12-09-2025 | 8:42 AM

COLOMBO (News 1st) - බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.

ඒ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු විම හේතුවෙන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2022 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජවීමෙන් පසුව බලයේ රැදි සිටිම සඳහා හමුදා කුමන්ත්‍රනයක් සැලසුම් කර ඇති බවට ඔහුට එල්ල වු චෝදනා තහවුරු වීම හේතුවෙන් සිර දඩුවම් නියම වු බවයි.

පස් දෙනෙකුගෙන් සමන්විත බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ  4 දෙනෙකු ඔහු වරදකරු බවට තීරණය කළේ ය.

2022 වසරේ පැවති ජනාධිපතිවරණයෙන්  ලූලා ද සිල්වා ජයග්‍රණය කළ අතර එම ජයග්‍රහණයට පෙර සිටම බොල්සොනාරෝ ඡන්ද පද්ධතියේ විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.

ඉන් අනතුරුව ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ හිටපු අමාත්‍යවරුන් සහ සහායකයින් 36 දෙනෙකු බ්‍රසිලයපුරා ඡන්ද ප්‍රතිඵලවලට විරෝධය පළ කරමින්  විවිධ ක්‍රියාකාරකම් සිදු කළේ ය.

2023 ජනවාරි 8 වැනිදා එම විරෝධාතාවල උච්චතම අවස්ථාව වාර්තා වුණ අතර එදින බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස්ගණනක් එරට ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ ක්‍රෝංග්‍රස් මන්දිරයට කඩා වැදී ප්‍රචන්ඩ ලෙස හැසිරි තිබේ.

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදිව තේරිපත් වූ  රාජ්‍ය නායකයකුට කුමන්ත්‍රන චෝදනා යටතේ මෙවැනි දඬුවමක් දුන් පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේ අතර එම ජෙයාර් බොල්සොනාරෝගේ තීන්දුව සම්බන්ධයේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔහු සඳහන් කළේ, ජෙයර් බොල්සොනාරෝට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමා පුදුම වන බවයි.

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු බ්‍රසිල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිරගත කිරීමට අසාධාරණ ලෙස තීන්දු කර ඇති බවත් එම තීන්දුව සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි ප්‍රතිචාර දක්වන බවටත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද තර්ජනය කර තිබේ.