සෙරමික් දේශීය ව්‍යාපාරිකයින් සමග අයවැය සාකච්ඡාව

සෙරමික් කර්මාන්තයේ දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 27-08-2025 | 7:33 PM

 COLOMBO (News 1st) - සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි.

මෙරට තුළ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් අපනයන ආදායම වර්ධනය කර ගැනීම සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජයේ සැලසුම් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව දැනට පවතින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ටයිල්, නාන කාමර උපාංග සහ සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු සෙරමික් නිෂ්පාදන කෙරෙහි මෙහිදී වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කෙරුණු අතර, දැනට වෙළෙඳපළ තුළ පවතින එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා විය.  

ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෙරමික් නිෂ්පාදන මෙරට පාරිභෝගීක ජනතාවට සාධාරණ මිලකට ලබා දීම සඳහා රජයෙන් ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

අමුද්‍රව්‍ය සපයා ගැනීම ඇතුළු සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුද, සෙරමික් කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.