දැය නගන වනිතා බලගැන්වුම ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 , වසරේ ජනප්‍රියම කාන්තාව අනුදි ගුණසේකර..

by Staff writer 20-08-2025 | 10:00 PM

COLOMBO (News 1st) - News 1st හා NDB බැංකුව එක්ව බල ගන්වන දැය නගන වනිතා බලගැන්වුම ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 තරගාවලියේ ජනප්‍රියම කාන්තාව ලෙස අනුදි ගුණසේකර සම්මාන දිනා ගත්තාය.

දේශයේ උන්නතිය වෙනුවෙන් මාහැඟි දායකත්වයක් ලබා දෙමින්, විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වන ධෛර්යවන්ත කාන්තාවන් අගය කිරීමේ විශිෂ්ට වේදිකාවක් විවෘත කරන, ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 වැඩසටහන, මෙලෙස පස් වැනි වරටත් ආරම්භ කෙරුණේ, රත්මලානේ අභිමානවත් ස්ටයින් මැදිරි සංකීර්ණයේදීයි.

News 1st හා NDB බැංකුව එක්ව ක්‍රියාත්මක කරන  මේ වනිතා බලගැන්වුම පුරා වසරක් තිස්සේ දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත ව්‍යායාමයක ප්‍රතිඵලයක්.

ධෛර්ය සම්පන්න ව්‍යවසායිකාවන් හඳුනා ගැනුණේ අගනුවරින් දුරබැහැර ගම්මානද නියෝජනය වන ආකාරයෙනුයි.

යසරත් කමල්සිරි
ප්‍රධාන විධායක නිලධාරී - MTV
''දෙයක් පටන් ගන්න හරි අමාරුයි. ඒ වගේම තමයි ඒ පටන් ගත්තු දේ  ඉදිරියට ගෙන යන්න තවත් අමාරුයි. මං හිතන්නේ NDB බැංකුවත් News 1st එක්වෙලා ඒ අමාරු කාර්යය අවුරුදු පහක් දක්වා අපි ඉදිරියට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක එක කණ්ඩායමකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කණ්ඩායම් කිහිපයක එකමුතුවෙන් කණ්ඩායම් කිහිපයක සහයෝගීත්වයෙන් එළිදැක්වූ ව්‍යාපෘතියක් බවට දැන් පත්වෙලා තියෙනවා''

රටේ පුරා විසිර සිටින දක්ෂ කාන්තාවන් අතිවිශාල පිරිසක් අතුරින් අතිදක්ෂයින් තෝරා දීම සඳහා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් සැදී පැහැදී සිටියහ.

පළාත් තරගවලිය විනිශ්චය කළේ, කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක්.

ආයතනික සහ වෘත්තීය අංශ තරගාවලිය කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් යටතට පවරා තිබිණ.


මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ - තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී
කොළඹ විශ්වවිද්‍යාලය
''අපිට මේ සියලුම විනිශ්චයන් ලබාදීමට අවශ්‍ය වන පූර්ණ නිදහස සිරස මාධ්‍ය ජාලය හා NDB බැංකුව නිරන්තරයෙන්ම ලබා දුන්නා. මේ නිසා ඉතාමත්ම අපක්ෂපාතී සාධාරණ විනිශ්චයක් ලබාදීමට  අපේ විනිශ්චය මණ්ඩලය සෑම විටම කටයුතු කළා. මං හිතන්නේ ඒ කාරණාව වසරක් පාසා අපිට හැකියාව ලැබුණා ස්ථාපනය කරන්න''


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න -  හිටපු උප කුලපති
කොළඹ විශ්වවිද්‍යාලය
''ඒ සෑම වෘත්තීය වේදියෙක්ගෙම අපි දකිනවා පෙර සූදානම් වීමක් කළින්ට වඩා. ඒ වගේම ඉදිරිපත් කිරීම් ඉතාම හොඳ මට්ටමක පැවතුණා. අපි දැක්කා අපේ විනිශ්චයකරුවන් අතර පවා මේ අය අතර තෝරා ගැනීම ඉතාම තරගකාරී මට්ටමක පැවතුණා. විශේෂයෙන්ම මේ වසරේ අපි දැක්කා අපිට අවසාන තරගාවලියට තෝරා ගැනීම ඉතාම තීව්‍ර තත්ත්වයකින් තෝරා ගත්තේ''

ශ්‍රී ලංකා වනාතිභිමාන 2025 වෙනුවෙන් මෙම විනිසුරු මඩුල්ල දැක්වූ සුවිශේෂ දායකත්වයද මෙහිදී ඇගයීමට ලක් විය.

වනිතාභිමානය වෙනුවෙන් කැඳවුම් ලැබූ  කාන්තාවක් ඇගයීමට ලක් වුයේ,  කලා හා සාහිත්‍ය, අධ්‍යාපන, තරුණ නායකත්ව,  සමාජ සේවා, ක්‍රීඩා, ඩිජිටල් ව්‍යවසායක, නැගී එන ව්‍යවසායක, කුඩා පරිමාණ ව්‍යවසායක යන අංශ යටතේයි.

ජාතික මට්ටමේ තරගයට සුදුසුකම් ලැබුවේ පළාතෙන් පළාතට යමින් කාණ්ඩ 8 ක් යටතේ පැවැත්වූ තරග අංශවලින් ජයගත් විශිෂ්ට කාන්තාවන්.‍ෙ

මෙවර තවත් විශේෂ කාර්යකට මුල පිරුණේ, විදේශ සේවයේ නිරතව, එහිදී ලබා ගත් අත්දකීම් උපයෝගී කරගනිමින් මෙරටට පැමිණ තමන්ගේම ව්‍යාපාර ආරම්භ කළ, රටට බරක් නොවූ අධිෂ්ඨානශීලී කාන්තාවන් ඇගයීමයි.

එහි මුල් පියවර අද සනිටුහන් වූ අතර, වනිතාවන් තුන් දෙනෙකු ඒ යටතේ ඇගයීමට ලක් විය.

ලක්මාලි විදානපතිරණ ,  එස්.ඩබ්. ධම්මිකා ප්‍රියදර්ශනී සහ එල්. සුධාගරී එම තිදෙනායි.


ශෙවාන් ඩැනියල් - සමූහ අධ්‍යක්ෂ
කැපිටල් මහරාජා සමූහය

''අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා අලුත් රටක් නූතන රටක් නිර්මාණය වෙයි කියලා.අ මොඩන් ශ්‍රී ලංකා.එහෙම රටක් නිකන් නිර්මාණය වෙන්නේ නැහැ නේ.එතනට යනවනම් අපි හැමෝම මහන්සි වෙන්න ඕන.හැමෝගෙම දායකත්වය අත්‍යවශ්‍යයි.එක්කෙනෙක්වත් අපිට අත්හැරලා යන්න බැහැ.බෙදෙන්න බැහැ.අපි හැමෝම වෙනස්.වෙනස් වීම් තියෙනවා වෙනස්කම් තියෙනවා.ගැහැනුයි පිරිමිත් වෙනස්නේ නමුත් මොනතරම් වෙනස්කම් තිබුණත් ඒ එක්වීම නෙමෙයිද ලස්සනම අවස්ථාව.අන්න ඒ වගේ තමයි අපේ රටේ ලස්සනත් ඒ වෙනස්වීම තමයි.නූතන රටක් නිර්මාණය කරනවා නම් බෙදිලා ඒ වැඩේ කරන්න බැහැ. ඒ නිසා ඉතාමත්ම පැහැදිලියි අපිට බෙදෙන්න ඕන තරම් විධි හොයා ගන්නපුළුවන්.බෙදිලා ගහගන්න යනකොටාගන්න ඕන තරම් අපිට අවස්ථාව තිබෙනවා.නමුත් අපි අපේ වෙනස්කම් පස්සෙකලා අපි එකට එක් උනොත් අපිට නූතන රටක් දුවා දරුවන් වෙනුවෙන් ඒ බලාපොරොත්තු වූ ඒ අපේක්ෂාවන්ට ළඟාවිය හැකි තමන්ට ලැබිය යුතු අවස්ථාවක් නොලැබීමත් කාන්තාවක් හැටියට පිරිමියෙක් හැටියට නොලැබිය යුතු අවස්ථාවක් ලැබෙන රටක් තියෙන තාක් කල් අපි නූතන වෙන්නේ නැහැ.ඒ නිසා මේක හුදෙක් ත්‍යාග ප්‍රධානෝත්සවයක් විතරක් නෙමෙයි.ඒ නිසා අපි කියනවා මේ අවස්ථාව බලන් ඉන්න මේක. ඈත ගම්වල සිහිනයක් දකින්න බය දැරියන් ඇති.අපි කියනවා බය නැතුව ඒ සිහිනය දකින්න.මෙතන ඉන්න හැමෝම ඉන්නවා ඔබ වෙනුවෙන් සටන් කරන්න.ඒ අනාගතය වෙතට පාලම හදන්න මෙතන හැමෝම දායක වෙනවා.නායකත්වය තියෙනවා මේ රටේ.ඒ පාලම කඩන්න ඒ පාලම හදන එකට අභියෝග හෙලන්න එහෙම උදවිය ඉන්නවනම් ඔවුන් කරන්නේ මොකක්ද ඒ ලස්සන නූතන රට හැදෙන එක නවතින එක විතරයි. නවත්තන එක විතරයි ඔවුන් හැදෙයි රට කැඩෙයි ඒකට අපි ඉඩ තියන්න ලෑස්ති නැහැ''


අනතුරුව ආයතනික හා වෘත්තීය අංශයේ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ දිරිය කාන්තාවන් 20 දෙනා අගය කෙරිණි.

NDB බැංකුවේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ මහතාද උත්සවය සභාව ඇමතුවේය.

තම දායකත්වය සමාජ ප්‍රගමනය උදෙසා කැපවීමෙන් වැය කළ  සුවිශේෂ කාන්තාවන් ඇගයීම සඳහා අභිනන්දන සම්මාන 05 ක් පිරිනැමිණි.

එම සම්මාන හිමි කරගත්තේ ,

ප්‍රවීණ රංගන ශිල්පිනී කලාශූරී මැණිකේ අත්තනායක මහත්මිය , ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරානි මහත්මිය , ප්‍රවීණ ක්‍රීඩිකා දේශබන්දු තිලකා ජිනදාස මහත්මිය, ප්‍රවීණ සිනමාවේදී අනෝමා රාජකරුණා මහත්මිය සහප්‍රවීණ නර්තන ශිල්පී කලාශූරී වාසුකි ජෙගදීස්වරන් මහත්මියයි.


මෙවර වනිතාභිමාන සම්මාන උළෙලේ විශේෂ අවධනයට ලක් වූ ජනප්‍රියතම කාන්තාවට හිමි සම්මානය වෙනුවෙන් පස් දෙනෙකු නිර්දේශ වී තිබිණි.

ඒ,, අනුදි ගුණසේකර, කාංචනා අනුරාධී, ලෝචනා ජයකොඩි , තරින්දි ප්‍රනාන්දු  සහ  ශනුද්‍රි ප්‍රියසාද්

ඔවුන් අතරින් ජනප්‍රියම කාන්තාවට හිමි සම්මානය දිනා ගත්තේ,  අනුදි ගුණසේකරයි.