බොරැල්ලේදී දොඹකරයක් වාහන අටක ගැටෙයි....

බොරැල්ලේදී දොඹකරයක් වාහන අටක ගැටෙයි....

by Staff writer 28-07-2025 | 1:45 PM

COLOMBO (News 1st) - බොරැල්ල කනත්ත වට රවුම ආසන්නයේදී දොඹකරයක්, වාහන අටක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගියේය.

පොලීසිය සදහන් කළේ, එහිදී තුවාල ලැබූ තවත් හත් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතල බව, පොලීසිය සදහන් කළේ ය.

බොරැල්ල කනත්ත වට රවුමේ විදුලි සංඥා පුවරුව අසළදී තිරිංග අක්‍රීය වූ දොඹකරය, මීටර 40 ක පමණ දුරක් නොනවත්වා ධාවනය වී තිබුණි.

පොලීසිය පැවසුවේ, එය යතුරු පැදි හයක, මෝටර් රථයක සහ ජීප් රථයක ගැටී ඇති බවයි.

අනතුරින් මියගියේ යතුරු පැදියක ගමන් කළ අතුරුගිරියේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සදහන් කළේ ය.

ඒ හේතුවෙන් අද(28) උදෑසන බොරැල්ල කනත්ත වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් ද, ඇතිවිය.