පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ජාතික පාසල් 1000ක වැඩසටහන ගැන කෝපා කමිටුව වාර්තාවක් කැඳවයි..

by Staff writer 26-07-2025 | 8:12 AM

COLOMBO (News 1st) - ජාතික පාසල් දහසක වැඩසටහන හා රාජ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් කෝපා කමිටුව වාර්තාවක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ “ජාතික පාසැල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” හා  රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කළ බවයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

එහිදී අන‍ාවරණය වූයේ “ජාතික පාසැල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක වී නොමැති බවයි.

පාසල් 23ක් පමණක් ජාතික පාසල් බවට පත් කරමින් එම වැඩසටහන අතරමග නැවතී ඇති අතර පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා නාමපුවරු සැකසීම වෙනුවෙන් පමණක් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2.42 කි.

නාම මාත්‍රිකව පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවට  කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන්ද මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

දැනට පවතින රජයේ ප්‍රතිපත්තිය මත ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු නොකරන අතර සියලුම පාසල් දියුණු කිරීම වෙනුවෙන් අමාත්‍යාංශය කටයුතු කරන බව එහිදී අධ්‍යාපන බලධාරින් පෙන්වා දී තිබේ.