ගම්මන්පිලට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝග

සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ඇමති ගම්මන්පිලට එරෙහි නඩුව යළි කැඳවීමට නියෝග

by Staff writer 21-07-2025 | 7:18 PM

COLOMBO (News 1st) - ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් 21 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේ ය.

ඒ, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී විනිසුරුවරයා නියම කළේ, නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වැනිදා යළි කැඳවන ලෙසය.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වැනිදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි, චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.