ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යන M Entertainment

ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට M Entertainments, Divo සහ Warner Music India සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට අත්සන් තබයි

by Staff writer 19-07-2025 | 9:38 AM

COLOMBO (News 1st) – සංගීතය කියන්නෙ, මිනිස් ආත්මය සුවපත් කරවන භාවනාවක්.

සංගීත ක්ෂේත්‍රයේ උන්නතියට බෙහෙවින් බලපාන අංශයක් තමයි සංගීත කර්මාන්තය , නැත්නම් music industry කියල කියන්නෙ.

ශ්‍රී ලංකාවේ සංගීත කර්මාන්තයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ඊයේ ඉන්දියාවේදී සනිටුහන් විය.

ඒ, මෙරට විශාලතම සංගීත සමාගම වන M Entertainments, භාරතයේ සුප්‍රකට සමාගමක් වන Warner Music India අනුබද්ධ සමාගමක් වන Divo සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට අත්සන් තැබීමයි.

ඉන්දියාවේ මුම්බායිහිදී එයට අත්සන් තැබුණි.

ඊට අදාළ අවබෝධාත්මක ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට Warner Music India සහ SAARC කළමනාකාර අධ්‍යක්ෂ ජේ මේතා, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල්, Divo කළමනාකාර අධ්‍යක්ෂ ෂහීර් මුනීර් සහ M Entertainments හි ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රෙඩ්රික් දිසානායක යන මහත්වරුන් සහභාගී විය.

දකුණු ඉන්දියාවේ ඩිජිටල් මාධ්‍ය සහ සංගීත සමාගමක් වන Warner Music India අනුබද්ධ ආයතනයක් වන Divo, දකුණු ආසියාව පුරා විහිද සිටින සුවහසක් කලාකරුවන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන ඒම වෙනුවෙන් අතිවිශාල සහයක් ලබා දෙන ආයතනයකි.

දෙරටේ සුප්‍රකට සමාගම් දෙකක් අතර ඇති වූ මේ හවුල්කාරීත්වය, මෙරට නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන යාමට මෙන්ම ඒවාට ඉහළ ආර්ථික වටිනාකමක් ලබා ගැනීමේ කාර්යයටත් දැවැන්ත ශක්තියක් වනු නොඅනුමානයි.

එය ශ්‍රී ලාංකික සංගීතයේ නව මානයන් සොයා යන කලාකරුවන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.