"භාතිය" ඇතා මරුට..

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ "භාතිය" ඇතා මරුට..

by Staff writer 15-07-2025 | 10:12 AM

COLOMBO (News 1st) - ඉදිරිපස පාදයක් ආබාධයකට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය ඇතා අද (15)  පෙරවරුවේ මියගියේ ය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හස්තියාගේ සිරුර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ඒමට නියමිතයි.

කවුද මේ භාතිය?

භාතිය කියන්නේ ගල්ගමුව, අඹන්පොළ, නිකවැරටිය ප්‍රදේශයේ සැරිසැරූ වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම්  කියූ හස්තා රාජයෙක්.

භාතියට මොකද වුණේ?

වයස අවුරුදු 30 - 35 අතර වයසක පසු වූ භාතිය ඇතා කාගෙත් අවදානයට ලක්ව සිටියා.

අවස්ථා ගණනාවක දී වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම් නිසා ඇතා දැඩි ලෙස පීඩා වින්දා.

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි භාතිය මුල්වරට නිරීක්ෂණය වුණේ නිකවැරටිය වනජීවි කලාපය තුළයි.

ඒ පසුගිය පෙබරවාරී මාසයේදි.

නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය විසින් හස්තියාට ප්‍රතිකාර කිරීම සිදු කළා.

ඉන්පසු භාතිය යළිත් දක්නට ලැබුණේ පසුගිය මැයි මාසයේදයි.

ඒ නිකවැරටිය ප්‍රදේශයට කිලෝ මීටර 20ක දුරින් පිහිටි මහව වනජීවි කාර්යාලය තුලයි.

එලෙස නිරිීක්ෂණය වන විට තවත් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණා.

අවස්ථා ගණනාවක දී  ඇතාට ප්‍රතිකාර කිරීම නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් සිදුවූවත් භාතිය ඉන් සම්පූර්ණයෙන් සුවය ලැබුවේ නැහැ.

ඉන්පසු භාතිය ගැන හැමෝගෙම අවධානය යළිත් යොමු වුණේ පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක වැටී සිටියදීයි.

ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු ඇතාට ප්‍රතිකාර කිරීම දින කිහිපයක සිටි විවිධ අයුරින් සිදු වුණා.

ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින්.

ප්‍රතිකාර වලින් පසු හස්තියාගේ ක්‍රියාකාරිත්වයේ යම් වර්ධනයක්  පෙන්නුම් කළ අතර දින ගණනාවක් එකම ඉරියව්වකින් සිටීම නිසා භාතිය දැඩි පීඩාවකට ලක්ව සිටියා.

කෙසේ වෙතත් පශු වෛද්‍යවරුන් පැවසුවේ භාතිය ඇතා ආහාර ගැනීම ද අඩු කළ බවයි.

ඒ වන විටත්,  මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ල වී තිබූ බව එම පශු වෛද්‍ය කණ්ඩායම පැවසුවා.

ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම ප්‍රදේශවාසින් සහපශු වෛද්‍යවරුන් එක්ව භාතිය රැඳී සිටි ඉරියව්ව, දැඩි පරිශ්‍රමයක් දරා වෙනස් කිරීමට ඊයේ (14) පියවර ගත්තා.

වම් ඇලයෙන් දකුණු ඇලයට හරවා පැය 24ක් යන්නට පෙර ඇතා අද උදෑසන මියගිය බව වන ජීවි නිලධාරින් තහවුරු කළා.

අද උදෑසන 8.55ට පමණ භාතිය මියගියේ බොහෝ දෙනා කම්පාවට පත් කරමින්.