ළදරුවන් සඳහා පළමු වරට හඳුන්වා දුන් මැලේරියා ඖෂධයක්

ළදරුවන් සඳහා පළමු වරට හඳුන්වා දුන් මැලේරියා ඖෂධයක් සඳහා ස්විස්ටර්ලන්තයේ අනුමැතිය...

by Staff writer 08-07-2025 | 5:57 PM

COLOMBO (News 1st) - ළදරුවන් සඳහා පළමු වරට හඳුන්වා දුන් මැලේරියා ඖෂධයක් සඳහා අනුමැතිය ලැබී තිබේ.

ස්විස්ටර්ලන්තයේ නොවාර්ටිස් ඖෂධ සමාගම විසින් සංවර්ධනය කරන ලද නව ඖෂධය සඳහා ස්විස්ටර්ලන්ත බලධාරීන්ගේ අනුමැතිය එලෙස ලැබී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අදාළ ඖෂධය තක්සේරු කිරීමට අප්‍රිකානු රටවල් 08ක් සහභාගී වී ඇති අතර, ඔවුන්ගේ ද අනුමැතිය මේ සඳහා ලැබීමට නියමිත බව දැක්වේ.

සති කිහිපයක් ඇතුළත එම ඖෂධය ඉහළම මැලේරියා අනුපාතයක් ඇති කලාප සහ රටවලටත් අප්‍රිකානු රටවලත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ වනතෙක් කුඩා ළදරුවන් සඳහාම වූ විශේෂයෙන් අනුමත කර ඇති මැලේරියා ඖෂධක් ලොව තිබී නොමැත.

ඒ වෙනුවට මෙතෙක් භාවිත කර ඇත්තේ, වැඩිහිටි දරුවන් සඳහා සකස් කරන ලද ඖෂධයි.

එමගින් පසු කාලීනව විවිධ සංකූලතා ඇති වීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේය.

2023 වසරේ දී පමණක් ලොව පුරා මැලේරියා ආසාදනය වීමෙන් වූ මරණ සංඛ්‍යාව 597,000 කට අධිකයි.

ඉන් හතරෙන් තුනක්ම අවුරුදු පහට අඩු දරුවන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බොහෝ මරණ වාර්තා වී ඇත්තේ අප්‍රිකානු රටවල් ආශ්‍රිතවයි.