නිෂ්කාශනය නොවූ රථයකට බලපත්‍රගැනීමට අනුබල දුන්නා දේ

රේගුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථයකට ආදායම් බලපත්‍ර ගැනීමට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්

by Staff writer 03-07-2025 | 9:59 PM

COLOMBO (News 1st) –රේගුවේ නිෂ්කාශනය නොවූ මුල් ලියාපදිංචියක් නොමැති ටොයෝටා වර්ගයේ මෝටර් රථයකට, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ආදායම් බලපත්‍රයක් ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරු අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව, අල්ලස් කොමිසමේ නිලධාරී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

ඔවුන් පැවසුවේ, සැකකරුවන් ජාලගතව එම නීතිවිරෝධී ක්‍රියාව සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තුන්දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින්, එය වළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරයෙකු වන සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ගොනු කළේ ය.

ලබන 8 වැනිදාට එය සළකා බැලීමට දින නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, එදිනට සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මියට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද නියෝග කළේ ය.