ඊශ්‍රායලයෙන් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර

by Staff writer 13-06-2025 | 9:00 AM

COLOMBO (News1st) - ටෙහෙරාන් අගනුවර ඇතුලු ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරාන් අගනුවර ඊසාන දෙසින් පිපිරීම් වාර්තා වන බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන්, දිගු දුර මිසයිල වැඩසටහන් හා අනෙකුත් හමුදා ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි.

දින කිහිපයක් ඇතුළත න්‍යෂ්ටික බෝම්බ නිපදවීම සදහා ඉරානය සතුව ප්‍රමාණවත් න්‍යෂ්ටික ද්‍රව්‍ය පවතින බව, ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු BBC පුවත් සේවයට පවසා තිබුණි.

ඔහු සඳහන් කළේ, ඉරානයේ විනාශකාරී අවි, ලෝකයටම තර්ජනයක් බවයි.

කෙසේ වෙතත් එම ප්‍රහාර වලට සිය රටේ කිසිදු සම්බන්ධයක් නොමැති බව, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැවසයි.

ප්‍රහාර දියත් කිරීමෙන් පසු, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සිය රටට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.