ජාතික බදු සතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ජාවාරම්කාර ව්‍යාපාරික කළු යාන්ත්‍රණය බිඳ දමනවා , බදු සතිය සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ජනපති සහතික වෙයි..

by Staff writer 02-06-2025 | 4:12 PM

COLOMBO (News 1st) - ජාවාරම්කාර ව්‍යාපාරික කළු යාන්ත්‍රණය බිඳ දමන බව , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ, ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, කිසිදු ආර්ථික සාධකයක් සඳහා දේශපාලන තීරණ නොගන්නා බවයි..

ජාතික බදු සතියේ සමාරම්භක උත්සවය අද (02) පෙරවරුවේ පැවැත්වූයේ ජනාධිපති කාර්යාලයේදීයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

2024/2025 තක්සේරු වර්ෂ සඳහා වන බදු වාර්ග අන්තර්ජාලය මුදා හැරීම මෙහිදී සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය ඒකාබද්ධව ශ්‍රී ලංකා රේගුව සඳහා හඳුන්වා දෙන ASYHUB  එළිදැක්වීමත් මෙහිදී සිදුවිය.

එමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්වීමේ කටයුතු වඩා කාර්යක්ෂවම සහ විනිවිදභාවයකින් සිදු කිරිමට අවස්ථාව උදා වෙනු ඇත.

දේශීය නිෂ්පාදනය කරනු ලබන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් බෝතල් සඳහා විශේෂ ආරක්ෂික සලකුණු සහිත ස්ටිකරයක් සහ ඩිජිටල් කේත හඳුන්වාදීමත් සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.