ජනපති අද හමුවන වියට්නාම කොමියුනිස් පක්ෂ ප්‍රධානියා

ජනපති අද වියට්නාම කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවෙයි..

by Staff writer 04-05-2025 | 6:59 AM

COLOMBO ( News 1st ) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(04) වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා හමුවිමට නියමිතව තිබේ.

ඒ වියට්නාම තුන්දින රාජ්‍ය සංචාරය අතරතුරයි.

එරට වාණිජ හා ව්‍යාපාර කේෂත්‍රයේ ප්‍රජාව සමග ද  ජනාධිපතිවරයා අද(04) සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ ය.

එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ එරට නියෝජිතයින් අතර ද්විපාර්ශවීය වාණිජ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි.

ජනාධිපතිවරයා අද(04) වියට්නාමයේ බායි දින් විහාරස්ථානය ද වැඳ පුදා ගනු ඇත.

තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(03) පස්වරුවේ වියට්නාමය බලා පිටත්ව ගියේ ය.

ඒ එරට ජනාධිපති ලුන්ග් චුන්ග් මහතාගේ ආරාධනයකට අනූවයි.

වියට්නාමයේ හෝ චි මින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා සහභාගී වේ.

එහි මුඛ්‍ය දේශනය පවත්වන්නේ ද ජනාධිපතිවරයායි.

ඊට අමතරව ජනාධිපතිවරයා එරට ජනාධිපති අගමැති ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවීමට ද නියමිතයි.

ජනාධිපතිවරයාගේ වියට්නාම රාජ්‍ය සංචාරය ලබන 6 වැනිදායින් අවසන් වනු ඇත.