විජයදාස රාජපක්ෂට එරෙහිව අධිකරණ නියෝගයක්..

ශ්‍රීලනිප වැඩබලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්....

by Staff writer 24-04-2024 | 3:22 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මහතාට, එම ධූරවල කටයුතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද  (24) වාරණ නියෝග නිකුත් කළේ ය.

මැයි 8 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝග නිකුත් කෙරුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුවයි.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් ,විත්තිකරුවන් එම ධුරවලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කළේ ය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත් වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත්, ඔහු  පෙන්වා දුන්නේ ය.

එසේම පසුගිය 21 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධුරවලට තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ  රැස්කල විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත්  ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පැවසුවේ ය.

මෙම වාරණ නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, සභාපති නිමල් සිරිපාල ද සිල්වා, වැඩබලන සභාපති විජයදාස රාජපක්ෂ  මහත්වරුන්ටයි. 

විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා නියෝග කළේ ලබන 8 වැනිදා අධිකරණයේ කරුණු දක්වන ලෙසයි.