නාවික හමුදාවේ අභිමානවත් 73 වැනි සංවත්සරය අද..

නාවික හමුදාවේ අභිමානවත් 73 වැනි සංවත්සරය අද..

by Staff writer 09-12-2023 | 7:03 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරය අදට(09) තිබේ. 

මෙවර එහි තේමාව, ස්ථාවර සාගර කලාපයක් යන්නයි, 

රට වට බැඳි රන් පවුරක් තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර් 9 වැනිදායි.

1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග සිලෝන් රෝයල් නේවී නම ඉවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් එය හැඳින්වීම ආරම්භ කළේ ය.

මහා රළ සමග පොර බදිමින් මෘතූ භූමියේ මුර දේවතාවන් වන ශ්‍රී ලංකා නාවික හමුදාව රට වට බැදි රන් වැටයි .

වසර ගණනාවක සිට විවිධ අත්දැකීම්වලින් පොහොසත් ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනවිට කලාපයේ ශක්තිමත් නාවික හමුදාවකි. 

සතුරු ආක්‍රමණවලදී සයුරේ අණසක පතුරවමින් ලංකාද්වීපය රැක ගැනීමට නාවික සෙබළුන් කළ මෙහෙවර ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින් ය.

දේශීය මෙන්ම කලාපීය සාගර අවකාශය තුළින් මතුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි යුදමය ශක්තියකින් පරිපූර්ණ ශ්‍රී ලංකා නාවික හමුදාව අද සිය 73වැනි සංවත්සරය සමරන්නේ මහත් අභිමානයෙන් ය.

කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් මුලිනුපුටා දැමීම සඳහා දියත් කළ මානූෂීය මෙහෙයුමේදී නාවික හමුදාව ඉටුකළ අමිල මෙහෙවර මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇති.

සිවිල් සමාජය නීතිගරුක කිරීම වෙනුවෙන් වර්තමානයේ නාවික හමුදාවෙන් ඉටුවන්නේ අද්විතීය මෙහෙවරකි. 

වර්ග කිලෝමීටර 65,610 ක භූමි ප්‍රමාණයක මුහුදු සැතපුම් 200 ක් පුරා නාවික හමුදා අණසක පැතිරී ඇත්තේ, මිලියන 20 කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ඒකායන පරමාර්ථයෙන් ය. 

මෙරට සාගර කලාපය උපයෝගී කරගෙන සිදුවන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ද ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දෙන්නේ දැවැන්ත දායකත්වයකි. 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මග පෙන්විම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ජාතික මෙහෙවර තවදුරටත් ඉටුකරමින් සිටී.

අභිමානවත් 73 වැනි සංවත්සරය අද සමරන ශ්‍රී ලංකා නාවික හමුදාවට දේශයේ උත්තමාචාරය...!!