ඉදිරි පැය 12 තුළ බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්..

ඉදිරි පැය 12 තුළ බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්.. මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට අනතුරු ඇඟවීම්.

by Staff writer 02-12-2023 | 6:52 AM

COLOMBO (News 1st) – මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. 

ඊට අමතරව ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදීත් අවදානයෙන් කටයුතු කළ යුතුයි.

ඒ, බෙංගාල බොක්කේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ය.

එම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හෙට වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.

ඒ හේතුවෙන් උතුරු, හා උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

කෙසේ වෙතත් එය දෙසැම්බර් 5 වනවිට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.