උඩවලවට කමිටු වාර්තාව අමාත්‍යාංශ ලේකම්ට

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන සොයන්න පත් කළ කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

by Staff writer 13-09-2023 | 8:19 AM

COLOMBO (News 1st) - සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබේ.

අමාත්‍යාංශ ලේකම් යූ. ඩි. සි ජයලාල් මහතා සඳහන් කළේ, එම වාර්තාව මේ වනවිට අධ්‍යයනය සඳහා යොමු කර ඇති බවයි.

යල කන්නයේ කුඹුරු ඉඩම් සඳහා උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමේදි පසුගිය දිනවල දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවිය.

ඒ, සමනල වැව ජලාශයෙන් උඩවලවට ජලය නිකුත් නොකිරීම හේතුවෙනි.

සති කිහිපයක් ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වලව කලාපයේ ගොවිබිම් රැසකට බලපෑම් එල්ල විය.

ගොවීන්ගෙන් එල්ල වූ බලපෑම් මැද අනතුරුව සමනල වැවෙන් ජලය නිකුත් කළ ද ඒ වනවිටත් වලව ගොවිබිම් රැසක් හානියට පත් වී තිබුණි.

පැවති අර්බුදකාරි තත්ත්වයත් සමග විෂය භාර අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා විසින් ජලය නිකුත් කිරීමේ ගැටලුව පිළිබඳව විමර්ශනට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කළේ ය.