රේගු පරීක්ෂණ ප්‍රමාද වීමෙන් කන්ටේනර් 965ක් සිරවෙයි

රේගු පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් කන්ටේනර් 965ක් අංගනවල සිරවෙයි..

by Staff writer 11-09-2023 | 6:21 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කන්ටේනර් 965 ක් පමණ පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් වරාය පර්යන්ත තුළ හෝ රේගු විභාග අංගනවල සිරවී ඇතැයි අනාවරණය වී තිබේ. 

ඒ, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් ය.

එම වාර්තාවේ දැක්වෙන්නේ, විමර්ශන සහ නඩු අවසන් නොකිරීම, ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

රේගු අභියාචනා පටිපාටිය සඳහා දීර්ඝ කාලයක් ගතවන බැවින් ආනයනකරුවන් සහ අපනයනකරුවන් දැඩි පීඩාවට පත්ව ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් ය. 

ඒ අනුව රේගු විමර්ශන සහ අභියාචනා කෙටි කාලයක් තුළ අවසන් කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාවෙන් පෙන්වා දෙයි. 

ඒ හරහා අපනයනයෙන් මෙරටට විදේශ විනිමය ලැබීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවනු ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.