ලොව වේගවත්ම කාන්තාව අමෙරිකාවේ ශාකැරී රිචඩ්සන්

ලොව වේගවත්ම කාන්තාව අමෙරිකාවේ ශාකැරී රිචඩ්සන්

by Staff writer 22-08-2023 | 8:06 AM

COLOMBO (News 1st) - අමෙරිකා කෙටිදුර ධාවන ශූරී ශාකැරී රිචඩ්සන් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පළඳා තිබේ.

ඒ, 2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්ව ජය ගනිමිනි.

2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය හංගේරියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

එහි කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගය ඊයේ (21) රාත්‍රී පැවැත් වූ අතර එය කාගේත් අවධානය දිනා ගත් ඉසව්වක් වුණේ, පසුගිය වර ශූරිය වූ ජමෙයිකාවේ ෂෙලී-ඇන් ෆ්‍රේසර්-ප්‍රයිස්, අමෙරිකාවේ ශාකැරී රිචඩ්සන්, ජැමෙයිකාවේ ෂෙරිකා ජැක්සන් වැනි ප්‍රබල ක්‍රීඩිකාවන් එක්වීම හේතුවෙනි.

තියුණු තරගයකින් අනතුරුව ලොව වේගවත්ම කාන්තාව බවට පත්වීමට 23 හැවැරිදි අමෙරිකා කෙටිදුර ධාවන ශූරි ශාකැරී රිචඩ්සන් සමත් විය.

ඇය තරගය අවසන් කළේ,  තත්පර 10යි දශම 6යි 5කින් තරගය අවසන් කරමිනි.

මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ මේ වසරේ ක්‍රීඩිකාවක් දැක් වූ ඉහළම දක්ෂතාවය ද මෙය වේ.

තරගය තත්පර 10යි දශම 7යි 2කින් අවසන් කළ ජැමෙයිකාවේ ෂෙරිකා ජැක්සන් දෙවන ස්ථානයට පත් වූ අතර පසු ගිය වර ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පළන් ජමෙයිකාවේ ෂෙලී-ඇන් ෆ්‍රේසර්-ප්‍රයිස්ට මෙවර හිමි වුණේ තුන්වන ස්ථානයයි.

ඇය තරගය අවසන් කිරීමටගත කළ කාලය තත්පර 10යි දශම 7යි 7කි.