හවායිහි ලැව් ගිනි හේතුවෙන් මිය ගිය පිරිස 67 දක්වා

හවායිහි ලැව් ගිනි හේතුවෙන් මිය ගිය පිරිස 67 දක්වා ඉහළට

by Haindu Gihan 12-08-2023 | 11:45 AM

COLOMBO (News 1st) - හවායිහි ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හවායි හී, ඓතිහාසික වෙරළ නගරයක් වන ලහයිනා සහ මව්ඊ නගරවලට ලැව් ගින්නෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.

එම නගරවලට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර පුද්ගලයින් දහස් ගණනක් නිවෙස්වලින් ඉවත් කර ඇත.

ගලවා ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ලැව්ගිනිවලට හසුවීමෙන් හවායි දූපතේ ගොඩනැගිලි 1000කට වැඩි සංඛ්‍යාවක් පමණ විනාශ වී ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් වේ.

වසරකට සංචාරකයින් මිලියන දෙකකට වැඩි පිරිසක් පැමිණෙන හවායි දූපත් ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය ලෙස මෙය සැලකේ.

පසුගිය අඟහරුවාදා ආරම්භ වූ මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මේ අතර හවායි හි තිබෙන ස්වභාවික ආපදා පිළිබඳ අනතුරු ඇඟවීමේ පද්ධතිය නිසිලෙස ක්‍රියාත්මක නොවූ බවට වාර්තා පල වී තිබේ.

ලැව්ගිනි පැතිරී යාම ආරම්භ වීමත් සමග, එරට දුරකථන සහ විදුලිය සම්බන්ධතා බිඳ වැටුණු බවත්, ගින්න පැතිරීම පිළිබඳව දූපතේ පිරිස් වෙත පුර්ව දැනුම්දීමක් සිදු කිරීමට නොහැකි වී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

විපතට පත් ජනතාවට සහන සැපයීම සඳහා මේ වන විටත්, ලොව පුරා ධනපතියන් එක්ව සිටී.

ඇමේසන් සමාගමේ සභාපති ජෙෆ් බේසෝස් ද මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදලක් පිහිටුවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.