දේශීය ණය ප්‍රශස්තකරණයට සම්බන්ධ පෙත්සමක් ඉවතට

ණය ප්‍රශස්තකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අඩුවීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉවතට

by Staff writer 11-08-2023 | 5:13 PM

COLOMBO (News 1st) - දේශීය ණය ප්‍රශස්තකරණයේදී සේවක අර්ථසාධක අරමුදල් සඳහා ලැබෙන ප්‍රතිලාභ අඩු කිරීම තුළින් සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කර තිබේ.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ මෙරට සේවක අර්ථසාධක අරමුදල් රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජන සඳහා ගෙවන පොලිය පහළ හෙළීමට පියවර ගැනුණි.

එහිදී නිකුත් කර තිබූ සියලු සුරැකුම්පත් නැවත නිකුත් කරමින් 2025 දක්වා 12% ක පොලී අනුපාතයක් ලබාදීමටත් ඉන් පසුව එය 9% ක් දක්වා අඩු කිරීමටත් නියමිතය.

මෙම තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මේ පිළිබඳව කරුණු විමසා බැලූ විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ එය නිෂ්ප්‍රභ කිරීමටයි.