වියළි කාලගුණයත් සමග පළාත් 4කට දැඩි බලපෑම්

පුද්ගලයින් 89,000 කට අධික පිරිසකට වියළි කාලගුණයෙන් පීඩා

by Staff writer 07-08-2023 | 6:00 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 28000 කට ආසන්නයි.

සබරගමුව, නැගෙනහිර, වයඹ හා උතුරු පළාත් වියළි කාලගුණයත් සමග දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 27,714 කට අයත් පුද්ගලයින් 89,480 ක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි හා චන්කානෙයි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රෙද්ශයට අයත් ජනතාව මින් වැඩිම බලපෑමකට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වේ.

මේ අතර නැගෙනහිර පළාතේ කින්නියා, සේරුවිල, කුච්චවේලී, වෙරුගල්, මූතූර් හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 8000 කට අධිකයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, වයඹ පළාතේ කුරුණෑගල, බමුණාකොටුව හා ගිරිබාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ජනතාවත් මින් දැඩි පීඩාවට ලක්ව සිටින බවයි.

කෙසේ වෙතත් ලබන ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් දිවයිනට නොලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔක්තෝබර් මාසයෙන් පසු වැසි සහිත කාලගුණයකට සුදුසු වායූ ගෝලීය තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.