උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට විරෝධය

අමෙරිකාව, දකුණු කොරියාව හා ජපානය උතුරු කොරියාවේ ක්‍රියා කලාපය හෙළාදකී

by Staff writer 15-07-2023 | 6:42 AM

COLOMBO (News 1st) - අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කර තිබේ.

ඔවුන් පවසන්නේ, උතුරු කොරියාව සිදු කරන මිසයිල අත්හදා බැලීම් කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන බවයි. 

පසුගිය දා උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් වාර්තාවල සඳහන් ය.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් දියත් කෙරුණු එම මිසයිලය පැයකට වැඩි කාලයක් කිලෝ මීටර 1000 ක පමණ දුරක් ගමන් කර ඇත.

එය උතුරු කොරියානු මිසයිලයක් මෙතෙක් වාර්තා කර ඇති දීර්ඝතම පියාසර කාලයයි. 

උතුරු කොරියාව මේ හරහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසි ගණනාවක් පැහැදිලිව උල්ලංඝණය කර ඇති බව අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි සහ දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍ය පාර්ක් ජින් එක්ව, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති ආසියාන් සංවිධානයේ සමුළුවක් අතරතුරදී මේ බව සඳහන් කළේ ය.