ඩෙංගු මර්දනයට දින 03ක්..

ඩෙංගු බෝවන ස්ථාන තිබුණොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වෙනවා - ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ

by Staff writer 11-07-2023 | 4:38 PM

COLOMBO (News 1st)  - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන තෙදින තුළ ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ මහජන පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන්  පැවැත්වීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(11) පැවති මාධ්‍ය හමුවකදීය. 

නිවාස නිරීක්ෂණය සහ මදුරුවන් බෝ විය හැකි ස්ථාන තිබුණහොත්,  ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂකවරයා එහිදී කියා සිටියේය.

බස්නාහිර පළාත තුළ 50%කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බව පැවසූ  ඒ මහතා ඩෙංගු මරණ 32 ක් ද සිදුව ඇති බව සඳහන් කළේය. 

නමුත් ජාත්‍යන්තර වශයෙන් බැලුවහොත් මරණ අනුපාතය ඉතාමත් අඩු බව ද ඔහු අවධාරණය කළේ ය. 

විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ උණුසුම් කාලගුණික තත්ත්වය දිගින් දිගටම පැවැතීමත් වරින් වර ඇතිවන වර්ෂාවත් නිසා  මදුරු ගහණය වැඩි වීමේ අවධානමක් පවතින බවයි. 

ඩෙංගු වෛරසය පැතිරවීම පාලනයට නම් නිරන්තර සුපරීක්ෂණය හා පරිසරය සුද්ද පවිත්‍ර කිරීම ඉතා වැදගත් බවත් එය සතියකට වාතාවක්වත්  සිදු කළ යුතු බව ඔහු සඳහන් කළේය. 

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව දිවයින පුරා ක්‍රියාත්මක කරමින්  ග්‍රාමීය ප්‍රදේශ ගැන වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා කියා සිටියේය.