මනම්පිටියේ මාරක බස් රථ අනතුරට හේතුව

මනම්පිටියේ මාරක බස් රථ අනතුරට හේතුව රියදුරුට නින්ද යාමයි - පොලිසිය

by Staff writer 10-07-2023 | 4:19 PM

COLOMBO (News 1st) – මනම්පිටිය, කොටලීය පාලම ඇතුළු එම මාර්ගයේ පවතින පාලම් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් කඩිනමින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ මුදල් ලද විගස මෙම පාලම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර අදාළ අනතුර සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා මාර්ග සංවර්ධන අධිකාරියෙන් වාර්තාවක් කැඳවා තිබේ. 


පොළොන්නරුව මනම්පිටියේ සිදුවූ රිය අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බව පොලීසිය පවසයි. 

ඊයේ රාත්‍රියේ මනම්පිටිය කොටලීය පාලම අසලදී පෞද්ගලික බස් රථයක් ඇළකට පෙරළීමෙන් මෙම මාරක  අනතුර සිදුවිය.  

එහිදී පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 41 දෙනෙක් තුවාල ලැබූහ.  

එලෙස අනතුරට ලක්වුණේ කඳුරුවෙල සිට කාත්තණ්කුඩි බලා ධාවනය වෙමින් පැවති බස් රථයකි. 

තුවාලකරුවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වීශේඥ වෛද්‍ය සම්පත් ඉන්දික තුෂාර මහතා සඳහන් කළේ ය.  


මේ අතර මනම්පිටිය බස් අනතුරට අදාළ බස් රථයේ ධාවන බලපත්‍රය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිෙබ්. 

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා මගින් අදාළ වාර්තාව කැඳවන බවයි.

අදාළ බස් රථයට ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍රයක් නිකුත් කර නොමැති බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.