වී කරල් කළුවීම ගැන සොයන්න කණ්ඩායමක්

ගොයම් කළුවීමේ රෝගය ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

by Staff writer 04-07-2023 | 6:38 AM

COLOMBO (News 1st) - මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන වී කරල් කළු පැහැ ගැන්වීමේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් අද (04) ගොවි බිම් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අනතුරුව කඩිනමින් පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පීදෙමින් තිබෙන වී කරල් කළු පැහැ ගැන්වීමේ තත්ත්වය සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් පසුගිය දින කිහිපයේම තොරතුරු වාර්තා විය.

ගොවීන් පවසන්නේ, මෙම තත්ත්වය හමුවේ අස්වැන්න අඩු වීමේ අවදානමක් පවතින බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවච්චිකුඩි, ගාන්ඩිපුරම්, කළුමුන්නාවේලි ආදී ප්‍රදේශවලින් මේ තත්ත්වය වාර්තා වේ.

බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා පැවසුවේ, ගොවි බිම් නිරීක්ෂණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ඉදිරිපත් කළ හැකි වනු ඇති බවයි.