.webp)
COLOMBO (News 1st) – බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග දෙකක් නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
ඒ 2022 වසරේ මැයි 9 වනදා සිදුවූ සිදුවීම් දෙකක් පාදක කරගනිමිනි.
2022 වසරේ මැයි 9 වනදා ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝගමට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා නිකුත් කළ ලිපිය අභියාචනාධිකරණය අද නිශ්ප්‍රභ කළේ ය.
දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයේ ගොනුකළ රිට් පෙත්සමෙන් පෙන්වාදී තිබුණේ, මෙම නඩු කටයුත්තේ මුල සිටම නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතර ඒ කිසිදු අවස්ථාවක තමන් සැකකරුවෙකු ලෙස නම්කළ යුතු බවට ඉල්ලීමක් නොකළ බවයි.
නමුත් පොලිස්පතිවරයාගේ ධූරකාලය මාස තුනකට දීර්ඝ කළ පසුගිය මාර්තු මාසයේදී දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීමට අධාරදීම යන චෝදනා යටතේ තමන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබූ බව පෙත්සමෙන් පෙන්වාදී තිබිණ.
එම ලිපියට අනුව තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස සලකා ප්‍රකාශයක් ලබාගත යුතු බවට නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබේ.
ඔහු සිය පෙත්සමෙන් පෙන්වාදී තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක නීතිපතිවරයාගෙන් එවැනි උපදෙස් ඉල්ලා නොතිබූ බවයි.
මෙවැනි ක්‍රියා තමන් මීළඟ පොලිස්පතිධුරයට පත්වීමට ඇති ඉඩ ප්රස්ථා අහිමිකිරීමේ උත්සාහයක් බව පෙන්වා දෙන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නීතිපතිවරයාගේ ලිපිය නිකුත්කළ කාලසීමාවෙන් පෙනී යන්නේ තමන්ට ඉදිරියේදී ලබාදීමට නියමිත උසස්වීම්වලට හානියක් විය හැකි බව යැයි පෙන්වාදී තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකල පැමිණිලි සම්බන්ධයෙන් සංක්ෂිප්ත විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී තමන් කිසිදු වරදක් කර නැතැයි අනාවරණයවී ඇති බැවින් සම්පූර්ණයෙන් නිදහස්කර ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සමේ සඳහන්කර තිබේ.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නැති අවස්ථාවක විශේෂ අවස්ථාවක් ලෙස සලකා නීතිපතිවරයා මෙම ලිපිය නිකුත්කර ඇති බවයි.
නීතිපතිවරයා තමන්ගේ බලය අභිබවාගොස් ඇති බවත් පෙත්සම්කරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය සාධාරණ නොවන බවත් අභියාචනාධිකරණය තීරණය කළේ ය.
මේ අනුව නිස්සංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් නියෝග කළේ, නීතිපතිවරයාගේ ලිපිය බල රහිත කරන ලෙසයි.
මේ අතර මැයි 9 වනදා ජනාධිපති මන්දිරය තුළදී සොයාගත් රුපියල් මිලියන 17.8 ක මුදල පිළිබඳ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත්කළ සිතාසිය ද බල රහිත කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා සමග සුගත් කල්දේරා සහ නිරාන් අන්කෙටෙල් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.