වන්දි සීමාව:ලන්ඩන් අධිකරණයට මෝසමක්..

එක්ස්ප්‍රස් පර්ල් වන්දි සීමාව ඉවත් කර ගැනීමට ලන්ඩන් අධිකරණයට මෝසමක් - නීතිපති දෙපාර්තමේන්තුව

by Staff writer 20-05-2023 | 3:23 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට වන්දි ඉල්ලා මෙරට අධිකරණයේ නඩු පැවරුව ද ඒ සම්බන්ධව එංගලන්ත අධිකරණයෙන් ලබා දුන් වන්දි සීමාවට යටත්වීමට සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, සිංගප්පූරු අධිකරණයේ පැනවූ නඩුවට ද එම වන්දි සිමාව වලංගු වන බවයි.

ඒ අනුව, අදාළ වන්දි සීමා සම්බන්ධයෙන් එංගලන්තයේ ලන්ඩන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ පිළිබඳව උපදෙස් එරට නීති විශාරදයින්ගෙන් ලබා ගැනිමට සැලසුම් කර තිබේ.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයේ නඩු පැවරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් නගන චෝදනා පදනම් විරහිත බව, නිතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කළේය. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය වෙත නඩුව මාරු කිරීම, දැනට නඩුව විභාග කරන මහාධිකරණය විසින් සිදුකරන කටයුත්තක් බවයි.

එය එරට නීතිය අනුව සිදුවන්නක් බව ද, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසරයට වූ හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයේ පනවා ඇති නඩුව එරට ජාත්‍යන්තර වාණිජ අධිකරණය හමුවේ කැඳවීම පිළිබඳ ලක් රජයේ තීරණය ලබන 01 වැනිදා දැනුම් දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කළේය. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ නඩුව මෙහෙයවන නීතිඥ සාමාගමට ඊට අදාළ උපදෙස් දීමට පියවර ගන්නා බවයි.

නඩුව ලබන 01 වැනිදා සිංගප්පූරු මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. 

මේ අතර එක්ස් පර්ල් වන්දි වාර්තාව සම්බන්ධයෙන් වන සංශෝධන කිහිපයක් සකස් කිරීම සඳහා සමුද්‍රීය පරීසර ආරක්ෂණ අධිකාරීයට අවශ්‍ය උපදෙස් ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.