ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි උපදෙස්..

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන ආයතනවලට උපදෙස්..

by Staff writer 19-05-2023 | 8:04 AM

COLOMBO (News 1st) –  ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට දැනුම් දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ , පළාත් ආණ්ඩුකාරවරුන් පළාත් පාලන කොමසාරිස්වරුන් මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කැඳවා මෙම උපදෙස් ලබාදුන් බවයි.

ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සාමාන්‍ය ජනතාවද සක්‍රීයව මැදිහත්වීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේ ය. 

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වන ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඇතැයි, එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ , මේ වනවිට රෝගය වැළඳුණු ළමුන් 43 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
 
දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 57 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් තත්වයක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,801 කි. 

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් ය.