අද සිට පාස්පෝට් නිකුත් කෙරේ..

පැමිණෙන සියලු දෙනාට අද සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනවා - ආගමන විගමන දෙපාර්තමේන්තුව

by Staff writer 18-05-2023 | 2:54 PM

COLOMBO (News 1st) – ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු දෙනාට අද (18) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, ඔන්ලයින් ක්‍රමයට දින වෙන් කිරීමේ කටයුතු ඊයේ (17) දිනයෙන් අවසන් කර මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව නිශ්චිත දිනයක් වෙන් නොකර දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලු දෙනා සඳහා ටෝකන් ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ඔහු පැවසීය.

මේ අතර ලබන 01 වැනි දා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ දෙපාර්තමේන්තුවට පැමිණීමකින් තොරව තම නිවසේ සිටම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඔන්ලයින් ඔස්සේ අයැදුම් කළ හැකි පරිදි පහසුකම් සකස් කිරීමට නියමිත බවයි.

ඒ සඳහා අවශ්‍ය ඇඟිලි සලකුණ තැබීම වෙනුවෙන් දිවයිනේ තොරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් නම් කරන බව ද ඔහු පැවසීය.

ආගමන විගමන පාලක ජෙනරාල්වරයා පැවසුවේ, ලංකා බැංකු හරහා සහ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර සඳහා වන ගාස්තු ගෙවීම් කිරීමට හැකියාව ලැබෙන බවයි.