අලාභ හානි වූ ලංගම බස් 18ක් ගැන තොරතුරු වසන් කරලා..

පසුගිය වසරේදී අලාභ හානි වූ ලංගම බස් 18ක් ගැන තොරතුරු මූල්‍ය වාර්තාවලින් වසන් කර හෙළි වෙයි..

by Staff writer 18-05-2023 | 3:40 PM

COLOMBO (News 1st) –  පසුගිය වසරේදී අලාභ හානි වූ ලංගම බස් රථ 18ක් පිළිබඳ තොරතුරු මූල්‍ය වාර්තාවලින් වසන් කර ඇතැයි විගණන වාර්තාවකින් හෙළි වෙයි. 

පසුගිය වසරේ මැයි 09 වැනිදා රට පුරා ඇතිවූ නොසන්සුන්තාවන් අතරතුර හානි වූ ලංකා ගමනාගමන මණ්ඩලය සතු අදාළ බස් රථ 18හි අලාභය රුපියල් 76 කෝටි 7ලක්ෂ 49 දාස් 438 ක් බව සඳහන් ය.

ජාතික විගණන කාර්යාලය අනාවරණය කරන්නේ, ලංකා ගමනාගමන මණ්ඩලය සතු රුපියල් ලක්ෂ 73ක් පමණ වටිනා තවත් වාහන 3කටද එදින අලාභ හානි සිදුවී ඇති බවයි. 

එම වාහන 3 හා බස් රථ 18 ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායකයින් මැයි 9 වැනිදා අගරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමක් සඳහා සහභාගි වීමට රැගෙන ගිය ඒවා බව නිව්ස්ෆස්ට් කළ සොයා බැලීමකදී අනාවරණය විය. 

එම බස් රථ රැගෙන යාම සඳහා කිසිදු මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ගෙවා නැතැයි සඳහන් ය.  

මේ අතර, අදාළ වාර්තාවේ දැක්වෙන්නේ 2021 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින්ගේ ජංගම දුරකතන පහසුකම් වෙනුවෙන් රුපියල් 77 ලක්ෂ 29 දහස් 446ක වියදමක් දරා ඇති බවයි.

කෙසේ වෙතත් සිදු කළ නියැදි පරික්ෂාවේදී ගමනාගමන මණ්ඩලය සතු ජංගම දුරකතන සම්බන්ධතා 1078ක් අතරින් සම්බන්ධතා 831ක තොරතුරු පමණක් ලේඛනගත වී ඇති බව වාර්තාවේ සඳහන් වෙයි. 

ජාතික විගණන කාර්යාලය අනාවරණය කරන්නේ, සෙසු සම්බන්ධතා 59 භාවිත කරන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව තහවුරු කිරීමට නොහැකි වුවත් ඒ සඳහා ගෙවීම් සිදු කර ඇති බවයි.