නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක රැසකට නිකුත් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත්

by Staff writer 09-05-2023 | 7:49 AM

COLOMBO (News 1st) - ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය අද (09) පීඩන අවපාතයක් දක්වාත්, හෙට (10) සුළිකුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති.

අධික වර්ෂාව සමග ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් කහවත්ත නීලගම වතුයායේ අංක 5 කොටසේ නිවාස තුනකට දැඩි අලාභ හානි සිදුව ඇත.

අප වාර්තාකරු පැවසුවේ, ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර බදුල්ල, ගාල්ල, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකවේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, යක්කලමුල්ල, බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද ඊට ඇතුළත් ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, මාවනැල්ල, ගලිගමුව, රඹුක්කන, යටියන්තොට, දැරණියගල සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.

මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නාය යෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතුයි.