UN වාර්තාකරුවන් 10කගෙන් ජනපතිට ලිපියක්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇති ගැටලු මතුකරමින් UN විශේෂ වාර්තාකරුවන් 10කගෙන් ජනපතිට ලිපියක්

by Staff writer 09-05-2023 | 11:06 AM

COLOMBO (News 1st) - යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ පුනරුත්ථාපන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇති ගැටලු මතුකරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් 10 දෙනෙකු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා තිබේ.

ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වන ත්‍රස්තවාදයේ නිර්වචන යොදා ගැනීම, නිරවද්‍යතාවය සහ නෛතික සහතිකය තහවුරු කිරීම, අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීම වැළැක්වීම සහ තහනම් කිරීම සඳහා විධිවිධාන සහ ක්‍රියාමාර්ග ඇති කිරීම ඇතුළත් කරුණු 5ක් විශේෂ වාර්තාකරුවන් 10 දෙනෙකුගේ අත්සනින් යොමු කළ එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

වද හිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, සාධාරණ නඩු විභාග සහතික කිරීම වැනි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම ලිපියේ සඳහන් ය.

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ සංශෝධන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට සම්පූර්ණයෙන්ම අනුකූල නොවන බව ද ඔවුන් මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.