මී උණ සහ ඩෙංගු යළි හිස ඔසවයි

මී උණ සහ ඩෙංගු යළි හිස ඔසවයි... සැලකිලිමත් වන්නැයි බලධාරීන්ගෙන් උපදෙස්...

by Staff writer 29-04-2023 | 7:39 PM

COLOMBO (News 1st) - රටපුරා වැසි සහිත කාලගුණයක් පිළිබඳව අනාවැකි පළ වෙද්දී වර්ෂාවත් සමග මී උණ රෝගය පැතිර යාමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500 ක් පමණ වාර්තාවන බවයි.

ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලයි.

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ වසරේ පමණක් රෝගීන් 229 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවක 19 කි.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා පැවසුවේ, මී උණ රෝගයට ගොදුරුවන්නේ කුඹුරු ආශ්‍රිතව රැකියාවල නිරතවන්නට පමණක් නොවන බවයි.

ඩෙංගු රෝගයත් හිස ඔසවයි ද?

මේ අතර දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55 ක් ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස නම් කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඊට ඇතුළත් බවයි. 

මීට අමතරව යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාස කිහිපයක් ද ඩෙංකු අධිඅවදානම් කලාපවලට ඇතුළත් ය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති අතර වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000 ඉක්මයි. 

වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 49% කි.