කරන්දෙණිය කඳවුරේ T56 ගිනිඅවි 36ක් පොලිස් භාරයට

කරන්දෙණිය කඳවුරේ අලුත් අවුරුදු දා රාජකාරි කළ සෙබළුන්ට නිකුත් කළ ගිනිඅවි 36ක් පොලිස් භාරයට

by Staff writer 19-04-2023 | 9:28 AM

COLOMBO (News 1st) - කරන්දෙණිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කඳවුරේ අලුත් අවුරුදු දා රාජකාරියේ නිරත වූ සෙබළුන්ට නිකුත් කළ T56 ගිනි අවි 36 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ, අහුංගල්ල, මීද්දරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 14 වැනි දා සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යොද වූ නිල සුනඛයා එම කඳවුරට ඇතුළුවීම හේතුවෙනි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම සඳහා එම ගිනි අවි පොලිස් භාරයට ගත් බවයි.

අහුංගල්ල, මිද්දරමුල්ල, අමරමෝලි මාවතේ පදිංචිව සිටි තරිඳු ධනුෂ්ක සිල්වා නමැති  පුද්ගලයා පසුගිය 14 වැනි දා සවස සොහොයුරිගේ කුඩා දරුවන් දෙදෙනකු ද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පළා ගොස් තිබිණි.

මේ අතර ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරන යතුරු පැදිය කරන්දෙණිය පොලිස් වසමේ ඇරැව්වල යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදි පසුගිය 15 වැනි දා සවස පොලීසිය සොයා ගෙන තිබිණ.