'News 1st සත්කෝරලයට අවුරුදු' හෙට ගල්ගමුවේදී.

'News 1st සත්කෝරලයට අවුරුදු' ගල්ගමුවේදී හෙට ජනගත කරන්න සියල්ල සූදානම්..

by Staff writer 15-04-2023 | 8:40 PM

COLOMBO (News 1st) - මෙවර නිව්ස්ෆස්ට් සත්කෝරලයට අවුරුදු හෙට (16) දින අප සමරන්නේ වන අලි තර්ජනමැද, ගොවිබිම්වල දිවා රෑ නොබලා රටට බත සපයන්නට කැපවෙන ගල්ගමුවේ ගොවි රජවරුන් සමගයි.

පුරාණයේ සත්කෝරලය නමින් හැඳින්වූ අද වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළවර අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි ගල්ගමුව, ගොවිතැනින් දිවි සරිකරගන්නා බහුතර ජනතාවකට හුස්ම පොවන භූමියකි.

සියලු ජාතීන් එකට එකතුවෙන, පොදු අරමුණු වෙනුවෙන් නිරතුරු කැපවෙන සංහිඳියාවේ නගරයකි ගල්ගමුව. 

රටට බරක් නොවූ අභිමානවත් දිරිය මිනිසුන් පිරිසක් වෙසෙන ගල්ගමුවේ සිට මෙවර නිව්ස්ෆස්ට් සත්කෝරලයට අවුරුදු සමරන්නට අපි සූදානම් ය.

හෙළ සංස්කෘතිකාංග රැසකට මුල්තැනක් ලබාදෙමින් අවුරුදු කුමරා, කුමරිය, කොට්ටා පොරය, කඹය ඇඳීම වැනි සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහ නව අවුරුදු ක්‍රීඩා සමග මෙවර සත්කෝරලයට අවුරුදු විචිත්‍රවත් කරන්නට සැලසුම් කර තිබේ.

අවුරුදු උළෙලේ තරග ඉසව් වෙනුවෙන් මේ වනවිටත් ප්‍රදේශයේ ජනතාව ඉතා උනන්දුවෙන් සූදානම් වන අයුරු අපිට දකින්නට ලැබුණි.

නිව්ස්ෆස්ට් අවුරුදු උදානයට පැමිණෙන්නන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ඉඳි වූ කැවිලි ගමේ කැවිලි රසවිඳීමේ අවස්ථාව ද උදාකරදී තිබේ.

දරුවන් වෙනුවෙන් තරග ඉසව් රැසක් සංවිධානය කර තිබෙන අතර ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට ද අවස්ථාව උදාකරදීම විශේෂත්වයකි.

ගල්ගමුව යූ.බී වන්නිනායක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවුරුදු උළෙලට ගල්ගමුව නාගරික වෙළෙඳ සුබසාධක සංගමය, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ද සිය දායකත්වය ලබාදෙයි.

මේ අතර අවුරුදු උළෙලට සමගාමීව හෙට (16) රාත්‍රී ගල්ගමුව යූ. බී. වන්නිනායක ක්‍රීඩාංගණයේ සිට සීදුව බ්‍රාවෝ සංගීතයට ජනප්‍රිය ගී තරු රැසක් සංගීතවත් වීමට නියමිතයි.