.webp)
COLOMBO (News1st) – පක්ෂ පාට ජාති ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වන්නේ එසේ කළහොත් බවයි.
අප වෙහෙසිය යුත්තේ සහ උත්සාහ කළ යුත්තේ, එළඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමට බව ද ජනාධිපතිවරයා පවසයි.
පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙද්දී අප මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට බැවින්, අවුරුදු සැමරීම පසෙකලා එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අරගලයකට මැදිව සිටි බව ද ජනාධිපතිවරයා සිහිපත් කරයි.
එහෙත්, මෙම අවුරුද්ද එළඹෙන්නේ අප සැමටම කිසියම් සහනදායී පරිසරයක් උදා කරමින් බව ද, ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
මේ අතර, රට මුහුණ දුන් ආහාර සහ ආර්ථීක අර්බුදය හමුවේ ගොවි ජනතාව රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව කළ මෙහෙය, මේ අලුත් අවුරුද්දේ කෘතවේදිව සිහිපත් කළ යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඒ, අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නවමු සංකල්පවලින් පෝෂිත අලුත් අවුරුද්දක් ආරම්භ කළ යුතු බවයි.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ, අන්ධකාර සමය නිමා වී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලිව පෙළ ගැසීමේ ශක්තිය, මෙරට පුරවැසියාට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව යි.
වසර කිහිපයක් මුළුල්ලේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුද්ද උදා වූයේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත්, සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගීමත් බව ප්‍රාර්ථනා කිරීම බව ද විපක්ෂ නායකවරයා පවසයි.