අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක්

ඉන්දියාවේදී මිය ගිය අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක්.. - ඉන්දියාවේ කොයිම්බතූර් පොලීසිය

by Staff writer 05-04-2023 | 1:09 PM

COLOMBO (News 1st) - 2020 වර්ෂයේදී ඉන්දියාවේදී මිය ගිය අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව ඉන්දියාවේ කොයිම්බතූර් පොලීසිය පවසයි.

ඒ අනුව මරණයට හේතුව සනාථ වී ඇති බැවින් ඊට අදාළ නඩු දෙකක කටයුතු අවසන් කිරීමට එරට පොලීසිය කටයුතු කළේ ය.  

අංගොඩ ලොක්කා 2020 වසරේ ජුලි 03 වැනි දා කොයිම්බතූර් ජෙරත් මා නගර් ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී මරණයට පත් වූ බව ඉන්දීය පොලීසිය පවසයි.

ඉන්දීය පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, ඔහු වසර දෙකක් තිස්සේ ප්‍රදීප් සිං යන නාමය යටතේ එහි ජීවත් වූ බවයි. 

එදින ඔහු සමග වාසය කළ අමානි තාන්ජි නම් 27 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ඔහුව රෝහල්ගත කළ අතර එහිදී ඔහු මිය ගිය බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

ඉන් දින දෙකකට පසුව ඇය තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග මිය ගිය අංගොඩ ලොක්කාගේ දේහය කොයිම්බතූර් සිට මදුරෛයි ප්‍රදේශයට රැගෙන ගොස් ආදාහනය කළ බවට සඳහන්.

මිය ගිය ප්‍රදීප් සිංගේ අන්‍යතාවය පොලීසියට අනාවරණය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදීය. 

එහිදී අනාවරණය වූයේ සිවකුමාර් සුන්දරී නම් කාන්තාවක් අංගොඩ ලොක්කාට ප්‍රදීප් සිං යන නාමය යටතේ ඉන්දීය අන්‍යතා කාඩ් පතක්, හෙවත් ආදාර් පතක් ලබා ගැනීමට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර පොලීසියට ඉදිරිපත් කර ඇති බවයි.