ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්..

රජයේ රෝහල්වල ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

by Staff writer 16-03-2023 | 4:49 PM

 COLOMBO (News 1st) – රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම පරීක්ෂණයේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නම් කර සිතාසි යොමු කළ බවයි. 

ඒ අනුව මෙම පරීක්ෂණයට අදාළව පැමිණිලිකරුවන් හා වගඋත්තරකරුවන් ඊයේ (15) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.  

නමුත් තීරණ ගත හැකි නිලධාරින් සහභාගී නොවීම නිසා පැමිණිලි විභාගය ලබන 23 වැනිදාට කල් දැමූ බව මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් ය. 

කඩිනමින් මැදිහත්විය යුතු ජාතිකමය වැදගත්කමක් සහිත ගැටලුවක් සේ සලකා කල්ගත කිරීමකින් තොරව ඖෂධ හිඟය විසඳා ගත යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.