.webp)
-521744.jpg)
COLOMBO (News 1st) - දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි.
එම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කර එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුනක කාලය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ය.
තවද, ශ්‍රී ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක්ගතවීම ගැටලුවක් බවත් එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
''සිංගප්පූරුවේ ජුරෝන් නගරය ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ. ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට වසර 10ක කාලයක් ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.''
''නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ආයෝජකයෙක් ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කරන්න වසර 10ක කාලයක් ගත වෙනවා නම් එයින් ආර්ථිකයට ඵලදායි වාසියක් ලැබෙන්නේ නැහැ''
හන්තානේ තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටා ඇති අක්කර 27 ක භූමි භාගයකින් යුත් මෙම ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය සංක්‍රමණික පක්ෂීන් විශේෂ සියයකට අධික සංඛ්‍යාවකට නිවහනකි.
තව ද රුපියල් මිලියන 490ක වියදමින් ස්ථාපිත කර ඇති මෙම කුරුලු උද්‍යානයේ විශාල කූඩුවල විදේශීය පක්ෂීන් ගාල් කර ඇති අතර ඔවුන් රැක බලා ගැනීම සඳහා සියයකට ආසන්න සේවක පිරිසක් ද සිටී.
විදේශ රටවලට ආවේණික පක්ෂීන්, සංක්‍රමණික පක්ෂීන් ආදීන්ගෙන් සමන්විත මෙම වනෝද්‍යානයේ තුවාල වූ පක්ෂීන්ට ප්‍රතිකාර කර මුදා හැරීමේ ඒකකයක් මෙන්ම විදේශීය පක්ෂීන් බෝ කිරීම සහ අපනයනය කිරීමේ ඒකකයකින් සමන්වික මෙය පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික හා විනෝදාත්මක මධ්‍යස්ථානයක් සහ ස්වභාවික පක්ෂි අධ්‍යයනායතනයකින් ද සමන්විතයි.
