මෛත්‍රීගේ අභියාචනා පෙත්සම: පැමිණිල්ලෙන් ඉල්ලීමක්

හිටපු ජනපතිගේ මෛත්‍රීගේ අභියාචනා පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි පැමිණිලිකාර පාර්ශ්වයෙන් ඉල්ලීමක්

by Staff writer 23-01-2023 | 9:09 PM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි පැමිණිලිකාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද(23) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ තමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මගිනි.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය අධිකරණයේ නියෝගය ලබන 26 වැනිදා නිකුත් කරන බව සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය. 

පැමිණිල්ලේ මේ ඉල්ලීමට තමන් විරුද්ධ වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පාදයක් අහිමි වූ පුද්ගලයෙකු සහ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අදාළ පෞද්ගලික නඩුව ගොනුකර තිබේ.